අතට අහුවෙන සෑම දෙයක්ම කියවමින්, සිතට එන සෑම දෙයක්ම ලියමින් ගෙවීගිය කාලයට විරාම තබා ගෙවුනු දින , සති, මාස ගණන ටිකින් ටික නිමා වී යන ලකුණු පෙනේ. අත්හැරී ගිය බොහෝ දෑ වෙත යලිත් යොමුවීමේ පළමු පියවරයි මේ.

ශ්‍රී ලාංකිකයින් සතුව තිබූ සත් බව, එකිනෙකා කෙරෙහි වූ ආදරය ගෞරවය අත්හැරී වෛරය, ආත්මාර්ථය වැනි දුර්ගුණ වේගයෙන් පැතිරීම කෙරෙහි බල පෑ ප්‍රධානම සාධකයකි ජනමාධ්‍ය. එයට අමතරව කියවීමේ (හරවත් යමක්) පුරුද්ද අතහැරී යාමේ ඵල විපාකද අප හොඳින් අත් විඳිමු. එදා බොළඳ නවකථාවක් ලෙස හන වැදුනු “ගොළු හදවත” වත් කියවීමට අද තරුණ පරපුර යොමු වූවා නම් අහිමි ආදරය නිසා සිදු වූ ඛේදවාචක කීයක් නම් වැලකී යාමට තිබුනේද?

ප්‍රශ්නයක් ඇති බව හැමෝම කියති. දනිතී. එහෙත් ඒ ගැනකිසිවක් නොකරති.එවන් පසු බිමක අඳුරට බැන බැන නොසිට එක පහනක් හෝ දැල්වීමටයි මේ වෑයම.

සිංහල වේවා ඉංගිරිසි වේවා (දන්නේ එම භාෂා දෙක පමණි ) හොඳ පොතකින් පිටුවක් හෝ පරිච්ඡේදයක් ඔබ වෙත ගෙන එන්නේ හොඳ පොතක් ගැන අදහසක් දීමට විනා කිසිදු බුද්ධිමය දේපළකට හානි කිරීමේ අදහස පෙරදැරිව නොවේ.

මෙහි පලවන සියළු උපුටා ගැනීම්වල හිමිකම් අදාල ලේකඛයන්, ප්‍රකාශකයින් හා පරිවර්තකයන් සතු බව තරයේ අවධාරණය කෙරෙන අතර ඔවුන්ගේ මතවාද, අදහස් හා චරිත සම්බන්ධයෙන් අපගේ වගකීමක් නොමැති බවද ප්‍රකාශ කරන්නෙමු.

ඉතින් එන්න..අපි හොඳ පොතක් කියවමු.

කතෘ : මිහයිල් ෂෝලහොව් (Mikhail Sholokhov)

අනුවාදක : සිරිල් සී පෙරේරා

ප්‍රකාශක : ප්‍රගති ප්‍රකාශක මන්දිරය – මොස්කව්

සෝවියට් විප්ලවයෙන් පසු ඇරඹෙන සමූහ ගොවිපොළ ක්‍රමයට ජනතාව අනුගත කිරීමට වෙහෙසෙන බොල්ෂෙවික් ආණ්ඩුවත්, ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නන්, කඩාකප්පල් කරුවන් හා සාමාන්‍ය ජනතාවගේ ආකල්ප,ආදරය, ඊර්ෂ්‍යාව සහ දුක් වේදනා නිරූපිත කොටස් දෙකකින් යුතු නව කථාවකි.

                                                                               I

ජනවාරි මස අවසානයේ දී හාපුරා කියා හිම දියවෙන කාලයෙන් පසු චෙරි වතුවලින් සුවඳ හමන්නට පටන්ගනියි. චෙරි ගස්වල පොත්තෙන් යන්තමින් නික්මෙන මළානික සුවඳ, දිය වෙන හිමෙන් පිට වන ත්තමනය; හිම යට සිට හාපුරා කියා පෙනෙන්නට පටන් ගත් පොළොවෙන් නගින ප්‍රාණවත් පැරණි සුවඳ; පසුගිය සරත් සමයේ වියළුණු කොළවලින් නික්මුණු සුවඳත් සමඟ මිශ්‍ර වී, මහ දවල් (හිරු එළියෙහි උණුසුමක් තිබුණොත්) සුළං නැති විට දැනෙන්නට පටන්ගනී.

නිල් පැහැති සැඳෑ අඳුර පැමිණෙන තෙක්, කොළ හැළුණු අතු අතරින් සඳ කැළුම් එබී බලන තෙක්, මහත් වන සාවුන් එළියට පැමිණ හිම මත හැම තැනම පා සටහන් තබා යන තෙක්, චෙරි වතුවල සිට ප්‍රණීත සියුම් සුවඳක් පැතිර යයි.

තවද ස්ටෙප්ස් තණ බිමේ කඳුගැටවල සිට හමා එන සුළඟ, අධික ශීතලයෙන් වෙළුණු තණ පඳුරුවලින් නික්මුණු මනහර සමඟ ගෙවී ගිය දවසේ ශබ්ද හා සුවඳ අතුරුදහන් වේ. තණැ බිමේ තණ පඳුරු උඩින්, මෑවැල් උඩින්, වියළුණු බටදළු උඩින්, හාන ලද කෙත්වතු උඩින්, ගමන් ගත් මඟ ස්වකීය දිග අඳුරු සෙවනැල්ලෙන් වසාලන අළුපාට වෘක ධේනුවක මෙන් රාත්‍රී අඳුර පෙරදිග සිට පැමිණියේය.

***

ස්ටෙප්ස් තණ බිමේ සිට වැටී ඇති මඟ දිගේ 1930 වන වර්ෂයේ, ජනවාරි මාසයේ, එක් සවස් කාලයක, ග්‍රෙමියාචි ගම බලා මිනිහෙක් අසු පිටින් ගමන් ගත්තේය. හෙතෙම මිදුණු පින්නෙන් වැසුණු ඉකිලිවලින් යුත් විඩා පත් අසු ගලා බසිනා දොළ අසල නතර කොට බිමට බැස්සේය. පටු මඟ දිගේ විහිදී යන, තැනින් තැන පිහිටි දූපත් මෙන් වැඩුණු පොප්ලර් ගසින් යුත් අන්ධකාර චෙරිවතු උඩින් අහසේ අව පස සඳ රැඳී ඇත, මහ මඟ අඳුරුය. නිසොල්මන්ය. දොළෙන් එගොඩ, අනෙක් පැත්තේ, කොහේදෝ සිට බල්ලෙක් බිරුවේය. පහන් එළියක් කහ පාටට පෙනේ. නාස්පුඩු තුළින් සීත සුළඟ ආස්වාස කළ අසරුවා වැඩි කලබලයක් නොදක්වා අත්වැසුම් ඉවත් කොට සිගරැට්ටුවක් දල්වා, සෑදලය තද කොට බැඳ, අශ්වයාගේ පිට වසා දමන රෙදිකඩ යටින් අත දමා, දහඩියෙන් තෙත් වූ උණුසුම් හම අතගා බලා, තමාගේ මහත ශරීරය උස්සා අසු පිටට නැග සෑදලය උඩ යළි හිඳ ගත්තේය. අනතුරුව හෙතෙම සීත කාලයේදී පවා දිය නොමිදෙන දොළෙන් එගොඩ වීමට පටන් ගත්තේය. දොළ පතුළේ බොරළු කැට අශ්වයාගේ කුරවල වදින අතර ඌ දිය බීම පිණිස බෙල්ල පහත් කෙළේය. එහෙත් සන්කටුවෙන් පාරා අමුත්තා අසු දැක්කුවේය. අශ්වයා ඉවුරට පැන ගත්තේය.

හිමපාරුවක නැග යන අයගේ කතා බහ සමඟ හිමපාරුවේ පීලිවලින් නික්මෙන කටුක හඬට සවන් දුන් අමුත්තා ආයෙත් අසු නතර කෙළේය. කන් කෙළින් කොට ශබ්දයට සවන් දුන් අශ්වයාද ආපසු හැරුණි. එවිට අශ්වයාගේ බඳපටිය මතද, සෑදලයේ කැටයම් කරන ලද හිස උඩද, හදිසියෙන්ම සඳ රැස් වැටී පාරේ පැවති අඳුර තුළින් දිළිහුණි. රේන්ස් පටි සෑදලය මත තැබූ අමුත්තා, මෙතෙක් බෙල්ල උඩට වැටෙන්නට දමාගෙන සිටි ඔටු ලෝමයෙන් කළ හිස් වැස්මෙන් මුහුණත් හිසත් වසා ගනිමින් ඉක්මණින් ගමන් ගත්තේය. මඟ යමින් තිබුණු හිම පාරුව පසු කළ හෙතෙම, ගමන් ගත් වේගය මඳක් අඩු කළ මුත් හිස්වැස්ම ඉවත් නොකෙළේය.

ගමට ඇතුළු වී ටික දුරක් ගිය අමුත්තා මඟ යමින් සිටි ගැහැනියක් නතර කොට “ඒයි අම්මේ, යාකව් අස්ත්‍රනොව් ඉන්නේ කොහේද?” යි ඇසුවේය.

“ඔය අහන්නේ යාකව් ලුකිච් ගැනද?”

“ඔව්”

“එයා ඉන්නේ අර පොප්ලර් ගස්වලින් එහා පැත්තෙ තියෙන උළු සෙවිලි කළ ලොකු ගෙදරයි. ඒ ගෙදර පේනවා නේද?”

“ඔව් පේනවා. බොහෝම ස්තූතියි”

අසු දක්කාගෙන ගොස්, කසයේ මිටෙන් සෙමෙන් කවුළුවට තට්ටු කොට “හලෝ, යාකව් ලුකිච්;ටිකකට එළියට එන්න” යි කීය.

ගෙහිමියා දොර ඇරගෙන පෝටිකෝවට පැමිණියේය. හිස්වැස්මක් නැතිව සිටි හෙතෙම, කබායේ බොත්තම් දමාගෙන නොසිටියේය. පඩි පෙළ බසින අතර ඔහු අමුත්තා දෙස සෝදිසියෙන් බැලුවේය.

“කවුද කතා කළේ?” කියා ඔහු ඇසුවේය. සුදු වන උඩු රැවුලෙන් වැසුණු ඔහුගේ මුහුණේ සිනාවක් දකින්නට තිබිණි.

“ඇයි අඳුනනෙ නැද්ද? අද රෑට මට නවාතැන් දෙන්න ඕනෑ. අශ්වයා බඳින්න පුළුවන් උණුසුම් තැනක් නැද්ද?”

“නැහැ සහෝදරයා, මට නුඹ අඳුනන්න බැහැ. දිස්ත්‍රික්ක කමිටුවේ ඉඳල ආපු කෙනෙක්ද? නැතිනම් ඉඩම් දෙපාර්තමේන්තුවේ ඉඳල ද ආවේ? මීට කලින් කට හඬ නම් අහල තියෙනවා”

“පව්ලොත්සෙව් මතකද?”

යාකව් ලුකිච් හිටිහැටියේම ඇති වූ භීතියෙන් අවට බැලුවේය. ඔහු සුදුමැලි විය. “තමුන්නාන්සෙ කොහොමද මෙහාට ආවේ? තමුන්නාන්සේගේ අශ්වයා දැන්ම ම ඉස්තාලයට ගෙනියන්නම්. අවුරුදු කීයකට පස්සෙද අපි හමුවුණේ!”

“ඔච්චර හයියෙන් කතා කරන්න එපා. අශ්වයට පොරවන දීරද්දක් තියෙනවද? ගෙදර පිට උදවිය කවුරුවත් ඉන්නවද?”

මෙසේ පැවසූ අමුත්තා ගෙහිමියාගේ අතට අශ්වයාගේ රේන්ස් පටි දුන්නේය. ගෙහිමියාගේ නුපුරුදු අතේ පහසට අලසකමින් අවනත වූ අශ්වයා ගෙහිමියා පසු පසින් ඉස්තාලයට ගියේ පස්සා ගාත් අමාරුවෙන් අද්දමිනි. ඉස්තාලයේ බිමට සවි කොට තිබුණු ලෑලි මත වදින කුර පහරින් මහ හඬක් පිට විය. එහි සිටි අනෙක් අශ්වයාගේ ඉව වැටුණු හැටියේ ම ඌ නහයෙන් පිම්බේය. ආගන්තුක අත උගේ හොම්බ ඇල්ලූ අතර, නිපුණ ඇඟිලි ඉතා පරිස්සමින් කටකලියාව ඉවත් කොට, වේදනාවෙන් කකියන විදුරුමස් නිදහස් කල පසු අශ්වයා කෘතඥතාවයෙන් යුතුව පිදුරු ගොඩට හොම්බ දික් කෙළේය.

“මම සෑදලයේ බඳ පටිය බුරුල් කළා. ඇඟේ උෂ්ණය පිට වන තෙක් සෑදලය තිබුණාවෙන්. ඊට පස්සේ ගලවා දමන්නම්” යයි ගෙහිමියා කීවේ සීතල වූ අශ්ව පොරෝණය දෑතින්ම ගෙන අශ්වයාගේ පිට වසා දමමිනි. සෑදලය අල්ල බැලූ හෙතෙම, තද කොට බඳින ලද බඳපටියෙන් හා පාපටියෙන්ද, එදින අමුත්තා අසු පිටින් දුරකතරක් ගමන් කොට තිබෙන බව අනුමාණ වශයෙන් දැන ගත්තේය.

“අශ්වයට දෙන්න ධාන්‍ය තියෙනවද?”

“ටිකක් ඇති. මම අශ්වයට කන්න බොන්න දෙන්නම්. දැන් ඉතින් යමු ගෙට. මේ දවස්වල තමුන්නාන්සේට කොයි විදිහට ආමන්ත්‍රනය කරන්නද කියා මම දන්නෙ නැහැ. අපි දැන් පරණ ක්‍රමය අත්හැරලා නොවැ” ඔහු අඳුරේ සිනාසෙමින් කීය. එහෙත් සමාව අපෙක්ෂා කරන බව හඟවන ඒ සිනාව අමුත්තාට නොපෙනෙන බව ඔහු දැනගත්තේය.

“මගෙ නමෙනුයි වාසගමෙනුයි කතා කලාම ඇති. මගේ නම තවම අමතක වෙලා නැහැ නේද?” යි පවසූ අමුත්තා ගෙහිමියාට කලින් ඉස්තාලයෙන් පිට විය.

“ජර්මන් යුද්ධයේදී යි, අනෙක් යුද්ධයේදී යි එකට සටන් කළ අපට කොහොමද අමතක වෙන්නේ..! මම නිතර තමුන්නාන්සේගැන කල්පනා කළා. නවරසීස්ක්වලදී වෙන් වුනාට පස්සෙ මට ත්යමුන්නාන්සේ ගැනවචනයක් වත් අහන්න ලැබුනෙ නැහැ. මා හිතුවා කොසෑක්වරුන් එක්ක තුර්කියට යන්න ඇතැයි කියා.”

ඔහු දෙදෙන පමණට වඩා උණුසුම් කරන ලද මුළුතැන්ගෙට ඇතුළු වූහ. අමුත්තා හිස්වැස්මත්, ඊට යටින් තිබුණු සුදු බැටළු සම් කැප්තොප්පියත් ඉවත් කෙළේය. පැසුණු හිස කෙසින් යන්තම් වැසුණු ඔහුගේ යෝධ හිස පෙණුනේ එවිටය. නපුරු පෙණුමෙන් යුත්, ගනව වැඩුණු ඇහි බැම යටින් වහා කාමරය අවට පිරික්සා බැලූ හෙතෙම, අනතුරුව බංකුව උඩ හිඳ සිටි ගෘහණිය හා ඇගේ ලේලිය දෙස කාන්තිය විහිදෙන නිල් පාට කුඩා ගැඹුරු නෙත් කෙළවර රැඳුන සිනාවකින් බලා හිස නමා ආචාර කෙළේය.

“කොහොමද සැප සනීප?”

“දෙයියන්නෙ පිහිටෙන් ඔහෙ ඉන්නවා” යි පැවසූ ස්ත්‍රිය අනතුරුව සැමියා දෙස විමසිල්ලෙන් බැලුවේ “ගෙට කැඳවා ගෙන පැමිණි මේ අමුත්තා කවුද? මොහුට සංග්‍රහ කළ යුත්තේ කෙසේද?” යු විමසන්නාක් මෙනි.

ගෙදර තිබෙන ඉස්තරම්ම කාමරයේ තබා තිබුණු මේසය ළඟට අමුත්තා කැඳවාගෙන ගිය ගෙහිමියා “ඉක්මණට කෑම ලෑස්ති කරන්න,” යි බිරිඳට කීය.

ගැහැනු දෙදෙනා ඉදිරිපිට ගෝවා සුප් බොමින් ඌරු මස් කෑ අමුත්තා කාලගුණය හා තමාගේ පැරණි යහළුමිත්‍රයන් ගැන කතා බහ කෙළේය. ගලින් නෙළුවා වැනි ඔහුගේ යෝධ හක්ක සෙළවුනේ ඉතා අමාරුවෙනී. ඔහු ඉතා සෙමෙන් හා වෑයමින් කෑවේ ගාලේ බඳින ලද බර අදින විඩා පත් ගොනෙකු වමාරා කන්නාක් මෙනි. කෑම කා අවසන් කොට නැගී සිටි අමුත්තා, දූලි බැඳුණු කඩදාසි මල් තැබූ සුරුවම ළඟට ගොස් යාච්ඥා කොට, ඇඟට තද වූ පරණ කමිසය මත වැටුණු පාන් කෑලි පිස දමා, “කෑම පිළියෙළ කරල දුන්නට බොහෝම ස්තූතියි; දැන් ඉතින් ටිකක් කතා කරමු” යි ගෙහිමියාට කීය.

සැමියාගේ සංඥාව තේරුම් ගත් බිරිඳත් ඇගේ ලේලියත් වහා මේසය උඩ තිබුණු කෑම පිඟන් ඉවත් කොට, අස් පස් කොට කාමරයෙන් පිට වී ගියහ.

ඕපාදූප ,විකාර,අකුරු ,ප්‍රවෘත්ති ආදී ලෙස “කියවීම” නොයෙක් ලෙස අර්ථ දැක්වීමට හැකියි. නමුත් “කියවීම” යැයි කියන විට පොදුවේ ගැනෙන්නේ පොතක්, පත්තරයක් හෝ සඟරාවක් කියැවීමයි.  අනිත් කියවීම් කෙසේ වෙතත් පොත් කියවීමේ පුරුද්ද අද වේගයෙන් අත්හැරීගෙන යන බවක් පෙනෙන්නට තිබේ. පණ්ඩිතයන් මෙයට නොයෙක් හේතු භූත දක්වන අතර විවේචකයන් කරන්නේ විවේචනය කර කර සිටීම පමණි.

පණ්ඩිතයෙකු නොවුණද පොත්ගුල්ලාට සිතෙන්නේ කියැවීමේ පුරුද්ද අත්හැරී යාමට ප්‍රධාන හේතුවක් වන්නේ වර්තමාන මිනිසා සියළු දේම “ක්ෂණිකව” ලබා ගැනීමට නැඹුරු වී සිටීම බවයි. පොතක් කියවා රස විඳීමට යම් කාලයක් ගතවන අතර එයට යම් සංයමයක්ද අවශ්‍ය වේ. වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයත් සමඟ කරට කර සිටින්නට දිව යමින් වෙහෙසකර ගමණක යෙදී සිටින මිනිසාට අද මේ දෙකම නැත. රූපවාහිනිය නැරඹීමෙන්, චිත්‍රපටියක් නැරඹීමෙන්, සංගීතයට සවන් දීමෙන්, සමාජ ශාලාවකට යෑමෙන්, වීඩියෝ ගේම් එකකින්, මිතුරු ඇසුරින් හෝ අන්තර්ජාලයේ සැරි සැරීමෙන් ලබන්නා සේ “ක්ෂණික” වින්දනයක් පොත් කියවීමෙන් නොලැබේ. මේ නිසා කියවීම කෙමෙන් මිනිසුන්ගෙන් ඈත්ව යන බව පොත්ගුල්ලාගේ අදහසයි.

මීට අමතරව, පොත් වල මිල ගණන් සහ කියැවීමට සුදුසු පොත් පිළිබඳ අවබෝධයක් නැතිකම ද කියැවීමේ පුරුද්ද ගිලිහී යාමට සෘජුව බලපාන සාධක වේ. තවද, මනුශ්‍යත්වය සහ කලාත්මක වටිනාකමට වඩා දේශපාලනික, තාක්ෂණික,ආර්ථික, ප්‍රවෘත්තිමය, ඔපාදූපමය සහ කාලීනව වැදගත් වන තොරතුරු සඳහා ලැබී ඇති වටිනාකමත්, ඒ සඳහා අන්තර්ජාලය හරහා ක්ෂණිකව පිවිසීමටත් ඇති හැකියාවද පොත පතින් මිනිසා ඈත් කර තබයි.මේ හැරුනු කොට තවත් පෙනෙන නොපෙනෙන හේතු රැසක් කියැවීමේ පුරුද්ද ගිළිහී යෑමට හේතු වී ඇත.

හොඳ පොත පත කියැවීම කෙරෙහි සමාජය යලිත් නැඹුරු කිරීමට පෙරමුණ ගත යුත්තේ ලේඛකයන්, ප්‍රකාශකයින්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් සහ පුස්තකාලයාධිපතිවරුන්ය. ඔවුන් හා එක් වී, දකින නොදකින සියල්ල විවේචනය කරමින් සමාජයට බැණ අඬගැසීම විලාසිතාවක්ව තිබෙන කාලයක කෙමෙන් අප අතින් ගිලිහෙන කියැවීමේ රුචිය සහ පුරුද්ද   යලි ඇති කිරීමට හැකි පමණින් දායක වීම පොත් ගුල්ලාගේ අරමුණයි.

එහි පලමු පියවර ලෙස ඇරඹෙන “කියවමු” බ්ලොග් අඩවිය තුලින් දෙස් විදෙස් ලේඛක ලේඛිකාවන්, කවි කිවිඳියන් සහ ඔවුන්ගේ නිර්මාණ හඳුන්වා දීම තුලින් තමන්ගේ රුචිකත්වයට අනුව කියැවීමට හැකි පොත පත පිලිබඳ පාඨකයා දැනුවත් කිරීමට පොත්ගුල්ලා අපේක්ෂා කරයි.

කිසිදු මූල්‍යමය අරමුණකින් තොරව ලියැවෙන “කියවමු” බ්ලොග් සටහන් ලේඛක සහ පාඨක යන දෙපිලේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී.

-පොත්ගුල්ලා-